මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද වාතාවරණය හමුවේ, ජපානයේ සිට ඩුබායි බලා ප්‍රවාහනය කරමින් තිබූ අධි සුඛෝපභෝගී පෝර්ෂේ (Porsche) රථ ඇතුළු වාහන දහස් ගණනක් කෙන්යාවේ ලාමු (Lamu) දූපතේ වරාය වෙත ගොඩබෑමට පියවර ගෙන තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ මාර්තු 1 වැනිදා ඩුබායිහි ජෙබෙල් අලි (Jebel Ali) වරායට එල්ල වූ ඉරාන ගුවන් ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඉතාලියේ ග්‍රීමාල්ඩි සමූහයට (Grimaldi Group) අයත් නෞකා දෙකකින් මෙලෙස වාහන 4,000කට අධික ප්‍රමාණයක් ගොඩබෑමට සිදුව ඇති අතර, ලබන සතියේදී තවත් වාහන 5,000ක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිතය. යුනෙස්කෝ ලෝක උරුමයක් වන ලාමු දූපතේ වරාය කළමනාකරු අබ්දුල් අසීස් මසී මහතා සඳහන් කළේ, මැදපෙරදිග තත්ත්වය යහපත් වන තෙක් මෙම වාහන එහි ගබඩා කර තබන බවයි. කලාපීය යුද්ධය මැදපෙරදිගට දැඩි බලපෑම් එල්ල කළද, එය අප්‍රිකානු නාවික මධ්‍යස්ථාන සඳහා වාණිජමය වශයෙන් විශාල අවස්ථාවක් වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.














