මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය දරුණු ලෙස වර්ධනය වෙමින් පවතින පසුබිමක, ඉන්දියාවේ බලශක්ති සූදානම සහ පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද (22) ඉහළ පෙළේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයකට ඇමරිකානු ඩොලර් 119ක් දක්වා ඉහළ ගොස් මේ වන විට ඩොලර් 109ක් දක්වා සුළු වශයෙන් පහත වැටී තිබුණද, පවතින අස්ථාවරත්වය හමුවේ ඉන්දීය ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ඉරානයේ නටාන්ස් න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලයේ අරද් සහ දිමෝනා නගර වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අවහිරතා පැය 48ක් ඇතුළත ඉවත් නොකළහොත් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් විනාශ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. මීට අමතරව ඉරානයට සහාය පළ කරමින් හූති කැරලිකරුවන් ද රතු මුහුද සහ සූවස් ඇළ මාර්ගයේ නාවික කටයුතු අඩාල කරන බවට තර්ජනය කර තිබීම නිසා ගෝලීය සැපයුම් ජාලයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. මෙම අර්බුදය හමුවේ වුවද, ඇමරිකාවෙන් පැමිණි LPG ගෑස් නෞකාවක් ඉන්දියාවේ බටහිර වෙරළට ළඟා වීම බලශක්ති සුරක්ෂිතතාව අතින් සුබදායී පුවතක් වී ඇත.














