ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු ද 10% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට අදාළ යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් හෙට (23) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම වෙත යොමු කර තිබේ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ යාම හේතුවෙන් පවතින බස් ගාස්තු සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදු කිරීම අනිවාර්ය වී ඇති බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම 4% සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් අවම බස් ගාස්තුව ඇතුළු සියලු ගාස්තු කාණ්ඩ ඉහළ දැමීමට මෙහිදී යෝජනා වී ඇත. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් රජයෙන් ඉල්ලා ඇත්තේ පවතින පිරිවැය හමුවේ අවම වශයෙන් 15% ක ගාස්තු වැඩිවීමක් ලබා දෙන ලෙසයි. හෙට දිනයේ කැබිනට් අනුමැතිය හිමිවුවහොත් නව බස් ගාස්තු සහ සංශෝධිත අවම ගාස්තුව පිළිබඳ නිල නිවේදනය වහාම නිකුත් කිරීමට නියමිතව ඇත.













