ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ලෝක තෙල් ප්‍රවාහනයට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම වසා දමන බවට ඉරානය අද (22) රාත්‍රියේ අනතුරු ඇඟවීය. ඉදිරි පැය 48 ඇතුළත මෙම මුහුදු මාර්ගය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ඇතුළු බලශක්ති මධ්‍යස්ථාන විනාශ කරන බවට ට්‍රම්ප් ඊයේ කළ ප්‍රකාශයත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය උග්‍ර වී තිබේ.
ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම මුහුදු මාර්ගය වසා දැමුවහොත් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අතිවිශාල ලෙස ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) අවධාරණය කර ඇත්තේ තම රටේ න්‍යෂ්ටික හෝ බලශක්ති මධ්‍යස්ථානවලට හානි වුවහොත්, ඒවා යළි ගොඩනගන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය දැවැන්ත බලශක්ති යුද්ධයක අද්දරට පැමිණ ඇත.














