ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා (Masato Kanda) මහතා විශේෂ නිල සංචාරයක් සඳහා ඊයේ (22) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. සිංගප්පූරුවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රී 11.40ට පමණ ඒ මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රජයේ ඉහළ පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම සංචාරය අතරතුර සභාපතිවරයා ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් හමුවී ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතය. විශේෂයෙන්ම බලශක්ති අර්බුදය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘති සඳහා ADB සහාය ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.















