ලොව සුපිරි ධනවත් ව්‍යාපාරික ඉලොන් මස්ක් (Elon Musk) විසින් ටෙස්ලා (Tesla) සහ ස්පේස් එක්ස් (SpaceX) සමාගම් ඒකාබද්ධව ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් (Austin) නගරයේ අතිනවීන අර්ධ සන්නායක (Chip) නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීමේ සැලසුම් ඊයේ (22) නිල වශයෙන් අනාවරණය කළේය. “ටෙරාෆැබ්” (Terafab) ලෙස නම් කර ඇති මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 20ත් 25ත් අතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම කම්හල් දෙකෙන් එකක් ටෙස්ලා රථවාහන සහ Optimus මානවරූපී රොබෝවරුන් බල ගැන්වීම සඳහා අවශ්‍ය චිප්ස් නිෂ්පාදනය කිරීමට වෙන් කර ඇති අතර, අනෙක් කම්හල අභ්‍යවකාශයේ ස්ථාපනය කිරීමට නියමිත කෘතිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන සඳහා වන විශේෂිත චිප්ස් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. ලෝකයේ වත්මන් චිප් නිෂ්පාදනය තම සමාගම්වල අනාගත අවශ්‍යතාවලින් ඉතා සුළු ප්‍රමාණයකට පමණක් සරිලන බැවින් මෙම පියවර අනිවාර්යයෙන්ම ගත යුත්තක් බව මස්ක් අවධාරණය කළේය.
මෙම “ටෙරාෆැබ්” ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ චිප්ස් නිර්මාණය කිරීමේ සිට ඒවා ඇසුරුම් කිරීම සහ පරීක්ෂා කිරීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම එකම වහලක් යටදී සිදු කිරීමයි. වසරකට ටෙරාවොට් එකක (Terawatt) පරිගණක ධාරිතාවක් නිපදවීම මෙහි අවසන් ඉලක්කය වන අතර, එය වර්තමානයේ සමස්ත ඇමරිකා එක්සත් ජනපදයම උත්පාදනය කරන ධාරිතාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.















