මධ්‍යපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකය දශක කිහිපයකින් පසු මුහුණ දෙන දරුණුතම බලශක්ති අර්බුදයට ඇද වැටිය හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් (Fatih Birol) මහතා අද (23) අනතුරු ඇඟෙව්වේය. ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වර්තමාන තත්ත්වය 1970 දශකයේ ලෝකය අඩාල කළ ප්‍රධාන තෙල් අර්බුද දෙකේ එකතුවටත් වඩා බරපතල මට්ටමක පවතින බවයි.
බිරෝල් මහතා පෙන්වා දෙන්නේ 1970 දශකයේ සිදු වූ තෙල් අර්බුද දෙකේදීම ලෝකයට අහිමි වූයේ දිනකට තෙල් බැරල් මිලියන 10ක් වුවද, මේ වන විට දිනකට බැරල් මිලියන 11ක සැපයුමක් ලෝක වෙළඳපොළට අහිමි වී ඇති බවයි. ඉරානය කේන්ද්‍ර කරගනිමින් ඇවිලී ගිය මෙම යුද්ධය හේතුවෙන් ලෝක බොරතෙල් සැපයුමෙන් 20%ක් ගමන් කරන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදුවන ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී තිබේ. විශේෂයෙන්ම ඊශ්‍රායලය විසින් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් සහ ප්‍රධාන ගෑස් නිධි ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම නිසා බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
මෙම අර්බුදය ගෝලීය ආර්ථිකයට “මාරාන්තික තර්ජනයක්” බවත්, යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව කිසිදු රටකට මෙහි බලපෑමෙන් මිදිය නොහැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. පවතින තත්ත්වය සමනය කිරීම සඳහා කඩිනම් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවත්, එසේ නොවුණහොත් දිගුකාලීන බලශක්ති හිඟයකට සහ ආර්ථික පසුබෑමකට ලෝකයට මුහුණ දීමට සිදුවන බවත් බිරෝල් මහතා පවසා සිටියේය.














