හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘත කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් පැය 48ක කාලසීමාව අවසන් වීමට ආසන්න වෙද්දී, ඉරානය විසින් අතිශය භයානක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අද (23) උදෑසන නිවේදනය කළේ, ඇමරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන මැදපෙරදිග කලාපීය රටවල විදුලි බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
ඉරාන රජයේ රූපවාහිනිය මඟින් ප්‍රකාශයට පත් කළ මෙම නිවේදනයට අනුව, ඉරානයේ විදුලි බලාගාරවලට ඇමරිකාව ප්‍රහාර එල්ල කළහොත් ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ බලාගාර මෙන්ම ඇමරිකානු කඳවුරුවලට විදුලිය සපයන අනෙකුත් අසල්වැසි රටවල බලාගාර ද විනාශ කිරීමට ඔවුන් පසුබට නොවන බව අවධාරණය කර ඇත. මීට අමතරව ඇමරිකානු කොටස් අයිතිවාසිකම් පවතින ආර්ථික, කාර්මික සහ බලශක්ති යටිතල පහසුකම් ද මෙම ප්‍රහාරක ඉලක්ක අතර පවතින බව ඉරානය පවසයි.
ඊයේ (22) උදෑසන ජනාධිපති ට්‍රම්ප් අනතුරු ඇඟවූයේ ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා කිරීම නතර නොකළහොත්, පැය 48ක් ඇතුළත ඉරානයේ විදුලි බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානයේ මෙම නවතම ප්‍රකාශයත් සමඟ කලාපීය යුද්ධය සමස්ත මැදපෙරදිග ආර්ථිකයම අඩාල කරන මට්ටමකට ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතු වී තිබේ.














