මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ, තෙල් අර්බුදයටත් වඩා භයානක ජල අර්බුදයක් කරා මුළු ගල්ෆ් කලාපයම තල්ලු වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ස්වාභාවික මිරිදිය ගංගා රහිත කාන්තාරික රටවල් වන මෙහි වෙසෙන කෝටි 10කට අධික ජනතාවගේ පැවැත්ම තීරණය වන්නේ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරන ලවණ ඉවත් කිරීමේ (Desalination) යටිතල පහසුකම් මතය. කුවේටය සිය පානීය ජල අවශ්‍යතාවයෙන් 90%ක්ම සපුරා ගන්නේ මුහුදු ජලය පිරිපහදු කිරීමෙන් වන අතර, ඕමානය 86%ක් ද, ඊශ්‍රායලය 75%ක් ද මේ මතම යැපෙයි.
කලාපීය ගැටුම් හමුවේ ගල්ෆ් කලාපයේ පවතින මෙවැනි ලවණ ඉවත් කිරීමේ කම්හල් විනාශ කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ. එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් සෞදි අරාබියට සිය ජල සැපයුමෙන් 70%ක් ද, බහරේනයට 60%ක් සහ කටාර් රාජ්‍යයට 50%ක් ද එක රැයකින් අහිමි වීමේ අවදානමක් පවතී. කාන්තාරයක වෙසෙන කෝටි 10ක ජනතාවකට අවශ්‍ය ජලය ට්‍රක් රථ මගින් ප්‍රවාහනය කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි බැවින්, මෙම පද්ධති බිඳවැටීම යනු හුදු අර්බුදයක් නොව සමස්ත කලාපයේම මනුෂ්‍ය ජීවිත බිඳවැටීමක් ලෙස සැලකේ.
මෙම තත්ත්වය දැනටමත් ආරම්භ වී ඇති බව වාර්තා වන අතර පසුගිය සති දෙක තුළ බහරේනයේ ජල පිරිපහදු යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල වී තිබේ. එමෙන්ම ඉරානයේ Qeshm දූපතේ පිහිටි ලවණ ඉවත් කිරීමේ කම්හලකට ඇමරිකානු ප්‍රහාර එල්ල වීමෙන් ගම්මාන 30කට පමණ දැනටමත් ජලය අහිමි වී ඇත. තෙල් සම්පතින් ලොව ධනවත්ම කලාපය වුවද, පානීය ජලය නොමැති වුවහොත් මුළු කලාපයම ජනශුන්‍ය වීමේ මාරාන්තික අනතුරක් 2026 වසරේදී උදාවෙමින් පවතී.














