නිව්යෝර්ක් නුවර ලොගාඩියා (LaGuardia) ගුවන්තොටුපොළට ගොඩබස්වමින් තිබූ එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) සමාගමට අයත් ප්‍රාදේශීය මගී ගුවන් යානයක් ඊයේ (22) සවස් කාලයේදී ගොඩබිම් මෙහෙයුම් රථයක (Ground vehicle) ගැටීමෙන් අනතුරකට ලක්ව තිබේ. මෙම සිදුවීමත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
Flightradar24 දත්ත වාර්තාවලට අනුව, මොන්ට්‍රියල් සිට පැමිණි මෙම CRJ-900 වර්ගයේ යානය රථයේ ගැටෙන අවස්ථාවේදී පැයට සැතපුම් 24ක (පැයට කිලෝමීටර් 39ක) වේගයකින් ගමන් කරමින් තිබුණි. මෙම යානය එයාර් කැනඩා සමාගමේ ප්‍රාදේශීය හවුල්කරුවෙකු වන ජෑස් ඒවියේෂන් (Jazz Aviation) මඟින් මෙහෙයවනු ලැබූවකි.
ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් ගුවන්තොටුපොළේ සියලුම ගුවන් යානා මෙහෙයුම් අත්හිටුවීමට (Ground stop) නියෝග කර ඇති අතර, ලොගාඩියා වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවල් වෙත යොමු කිරීමට හෝ නැවත පිටත් වූ ස්ථානයටම හරවා යැවීමට කටයුතු කර තිබේ. අනතුරින් සිදු වූ හානිය හෝ තුවාල ලැබූවන් පිළිබඳව නිල තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙම තත්ත්වය තවදුරටත් දීර්ඝ විය හැකි බවට FAA ආයතනය අනතුරු අඟවයි.














