ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා අතින් ක්‍රියා කරවන ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් (Manual Treadmill) මත පැය 48ක් අඛණ්ඩව දිවීමේ අතිදුෂ්කර අභියෝගය ජය ගනිමින් ලෝක වාර්තා තුනක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. 2026 මාර්තු 20 වැනිදා ආරම්භ වූ මෙම දැවැන්ත ප්‍රයත්නය මාර්තු 22 වැනිදා පෙරවරුවේ සාර්ථකව අවසන් වූ බව නාවික හමුදාව නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම අභියෝගය අතරතුර රියර් අද්මිරාල් ලියනගේ මහතා මුලින්ම සිය පැය 12ක වාර්තාව අලුත් කළේය. එහිදී ඔහු සිය පෙර ලෝක වාර්තාව වූ කිලෝමීටර් 94.30ක දුර අභිබවා යමින් කිලෝමීටර් 100.36ක දුරක් සම්පූර්ණ කළේය. අනතුරුව සිය දෙවැනි ගිනස් වාර්තා සුදුසුකම ලෙස පැය 24ක් ඇතුළත කිලෝමීටර් 190.55ක දුරක් දිව යමින් එවකට පැවති කිලෝමීටර් 188.13ක ලෝක වාර්තාව ද බිඳ දැමීමට ඔහු සමත් විය. සිය නොපසුබට උත්සාහය ප්‍රදර්ශනය කරමින් මාර්තු 22 වැනිදා පෙරවරු 10.00 වන විට මුළු කිලෝමීටර් 316.7ක දුරක් සම්පූර්ණ කළ රියර් අද්මිරාල්වරයා සිය තෙවැනි ගිනස් ලෝක වාර්තා සුදුසුකම ද ලබා ගත්තේය.
මීට අමතරව ඔහු විසින් තවත් සුවිශේෂී වාර්තා තුනක් පිහිටුවා ඇති අතර ඒවා ද ඉදිරියේදී ගිනස් මණ්ඩලයේ සලකා බැලීම සඳහා යොමු කර ඇත. ඒ අනුව යාන්ත්‍රික නොවන ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් මත වේගවත්ම කිලෝමීටර් 100 (පැය 11:57:18), වේගවත්ම සැතපුම් 100 (පැය 20:07:42) සහ වේගවත්ම කිලෝමීටර් 300 (පැය 44:40:24) යන වාර්තා ඔහු සතු වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් මෙම වෑයම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා තිබූ අතර ශ්‍රී ලාංකේය විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ලැබූ මෙම ජයග්‍රහණය මෙරට තරුණ පරපුරට මෙන්ම සමස්ත ලෝකයාටම විනය සහ අධිෂ්ඨානය පිළිබඳ මනා ආදර්ශයක් සපයයි.














