මෙරට ආර්ථික පුනර්ජීවනය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් සංවිධානය කරනු ලබන ‘2026 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව’ මාර්තු 30 වන දින කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ එක්ව පවත්වනු ලබන මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ මෙරට තුළ යළි ගොඩනැඟී ඇති ආයෝජක විශ්වාසය සහ නව ආයෝජන අවස්ථා ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමයි. විශේෂයෙන්ම තිරසර සහ තාක්ෂණය පදනම් කරගත් සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීම මෙහිදී සිදු කෙරේ.
“ශ්‍රී ලංකාවේ හරිත සහ සබඳතා සපිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා ගෝලීය ආයෝජකයන්, බහුජාතික සමාගම් සහ ප්‍රමුඛ පෙළේ අරමුදල් කළමනාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය. මේ පිළිබඳව අදහස් දක්වමින් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීමේ වාසිය සහ ඉහළ ප්‍රතිලාභ ලැබීමේ හැකියාව පිළිබඳ විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ගෝලීය ආයෝජන ප්‍රජාවට ආරාධනා කරන බවයි. ආයෝජකයන් වෙනුවෙන් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු සේවාවක් සැපයීමට ආයෝජන මණ්ඩලය උපරිමයෙන් කැපවී සිටින බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
පසුගිය 2025 වසරේදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි විදේශ ඍජු ආයෝජන (FDI) ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සමත් වීම මෙරට ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තරය තැබූ සහතිකයකි. එම වසර තුළ පමණක් ඉහළ වටිනාකමකින් යුතු නව ආයෝජන ව්‍යාපෘති 24ක් ආරම්භ වීම ද කැපී පෙනෙන සන්ධිස්ථානයක් විය. මෙවර සමුළුව හරහා එම ප්‍රගතිය තවදුරටත් තහවුරු කරමින් නව තාක්ෂණික සහ පරිසර හිතකාමී ව්‍යාපෘති රැසක් මෙරටට දිනා ගැනීමට අපේක්ෂිතය. මෙය ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන් මග තීරණය කරන තීරණාත්මක පියවරක් වනු ඇතැයි ආර්ථික විචාරකයෝ පවසති.
උපුටා ගැනීම: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය














