කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේදී අද (23) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී, ඉරාන තානාපති ආචාර්ය අලිරේසා දෙල්කොෂ් මහතා ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ඉරානයේ සමීප මිත්‍ර රටක් බවත්, ඕනෑම අසීරු අවස්ථාවකදී සහයෝගය දැක්වීමට ඉරානය සූදානම් බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවල නෞකාවලට ගමන් කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වුවහොත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ඉරානය සූදානම් බවත් තානාපතිවරයා සහතික විය. “ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වෙනවා දැකීමට අප අකමැති අතර, ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි ඉරානය තුළ ඉහළ ගෞරවයක් පවතිනවා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ඉරානය තුළ වෙසෙන විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සකසා ඇති බවත්, ඔවුන්ට කිසිදු ගැටලුවක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් ඔහු පැවසීය. යම් හෙයකින් ඔවුන්ට සිය මව් රටවලට යාමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද ඉරාන රජය සූදානමින් සිටින බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපීය නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉරානය ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම සහතිකය මෙරට ආර්ථික ස්ථාවරත්වයට වැදගත් බලපෑමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.














