රජයේ ප්‍රබල අමාත්‍යවරුන්, ප්‍රසිද්ධ මාධ්‍යවේදීන්, හිමිවරුන් සහ කලාකරුවන් ලෙස පෙනී සිටිමින් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ 33 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් වන චතුර අල්විස් සහ හසිත විජේවර්ධන යන අයගේ කටහඬවල් පවා අනුකරණය කරමින් මෙම කූට ජාවාරම මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.
වසර දෙකක පමණ කාලයක් ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටි මෙම සැකකරු, අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන සූදු ක්‍රීඩාවන්ට දැඩි ලෙස ඇබ්බැහි වූවෙකි. ඒ සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් ඔහු ප්‍රසිද්ධ පුද්ගලයින් 17 දෙනෙකුගේ අනන්‍යතාවය භාවිතා කරමින් විවිධ පින්කම් සහ සමාජ සත්කාර සඳහා ආධාර කරන ලෙස පවසා දුරකථන ඇමතුම් ලබා දී මුදල් වංචා කර තිබේ. රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ නිලධාරීන්, ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා සැකකරුට එරෙහිව “නිල් නිවේදනයක්” (Blue Notice) ලබා ගැනීමට ද පියවර ගෙන තිබුණි.
තමාට එරෙහිව ජාත්‍යන්තර පොලිස් නිවේදනයක් නිකුත් කර ඇති බව නොදත් සැකකරු පසුගිය 21 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් විය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. මෙවැනි දුරකථන ඇමතුම් සහ සමාජ මාධ්‍ය හරහා සිදුකරන ඉල්ලීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, කිසිදු තහවුරු කිරීමකින් තොරව මුදල් තැන්පත් නොකරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.















