ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR පද්ධතිය අවභාවිත කරමින් නීතිවිරෝධී ලෙස QR කේත ලබාගත් දුරකථන අංක 153ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙලෙස වංචනික ලෙස QR කේත ලබාගන්නා පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබා දී ඇති බවයි.
QR කේත අවභාවිතයට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබාගැනීමේ (Fuel Hoarding) සිද්ධීන් කිහිපයක් ද වාර්තා වී ඇති අතර, එවැනි වැරදිකරුවන්ට එරෙහිව ද තරාතිරම නොබලා දැඩි දඬුවම් පමුණුවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඉන්ධන පරිභෝජනය සීමා කිරීම සඳහා හඳුන්වා දුන් මෙම QR පද්ධතිය යටතේ මේ වන විට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව මිලියන 6කට ආසන්න වී ඇති අතර, ඉන් මිලියන 2ක්ම අලුතින් සිදු කරන ලද ලියාපදිංචි කිරීම් බව ද ඔහු පෙන්වා දුන්නේය.
මීට පෙර QR පද්ධතියට ලියාපදිංචි වීමේදී මගීන්ට සහ වාහන හිමියන්ට මතුවූ සියලු තාක්ෂණික ගැටලු මේ වන විට විසඳා ඇති බවත්, මින් ඉදිරියට පද්ධතියේ විනිවිදභාවය ආරක්ෂා කරමින් අවභාවිතයන් වැළැක්වීමට බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.















