මෙරට ආනයනික කිරිපිටි සහ තිරිඟු පිටි මිල කිසිසේත් ඉහළ නොදමන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. අද (23) දින විෂයභාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ කිරිපිටි ආනයනකරුවන් හා තිරිඟු පිටි සමාගම් නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. පවතින ගෝලීය යුදමය වාතාවරණය හමුවේ සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බලපෑම් මධ්‍යයේ වුවද, අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කර තිබේ.
ඉන්ධන මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය නිෂ්පාදන පිරිවැයට යම් බලපෑමක් එල්ල කළ ද, උදාවීමට නියමිත සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් පාරිභෝගිකයන්ට සහනයක් ලෙස මිල වැඩි නොකිරීමට අදාළ සමාගම් එකඟතාව පළ කර ඇත. තවත් මාස තුනක කාලයකට ප්‍රමාණවත් කිරිපිටි සහ තිරිඟු පිටි තොග මෙරට සතුව පවතින බවට ද ඔවුහු අමාත්‍යවරයා වෙත සහතික වූහ. කෙසේ වෙතත්, වත්මන් ඉන්ධන කෝටා ක්‍රමය හේතුවෙන් සිය බෙදාහැරීමේ කටයුතුවලට යම් බාධා එල්ල වී ඇති බව සමාගම් නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස, ආහාර බෙදාහැරීමේ නිරත ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා රජය හඳුන්වා දී ඇති විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනට වහාම ලියාපදිංචි වන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමාගම් වෙත උපදෙස් ලබා දුන්නේය. එමඟින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරමින් ජනතාවට බාධාවකින් තොරව භාණ්ඩ ලබා දීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














