ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ලගාර්ඩියා (LaGuardia) ගුවන් තොටුපළේ ධාවන පථයක් මතදී එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) ගුවන් යානයක් සහ ගුවන් තොටුපළ ගිනි නිවන රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් ගුවන් නියමුවා සහ සහාය නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තවත් පුද්ගලයන් 41 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඒ අතර ගුවන් යානයේ සිටි මගීන් 39 දෙනෙකු සහ ගිනි නිවන රථයේ සිටි නිලධාරීන් දෙදෙනෙකු ද වන බව වරාය අධිකාරිය (Port Authority) නිවේදනය කළේය.
මොන්ට්‍රියල් සිට පැමිණි ජෑස් ඒවියේෂන් (Jazz Aviation) ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම CRJ-900 වර්ගයේ කුඩා ගුවන් යානය, ගොඩබස්වා වේගය අඩු කරමින් තිබියදී වෙනත් හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා ධාවන පථය හරහා ගමන් කරමින් තිබූ ගිනි නිවන රථයේ ගැටී ඇත. වාර්තා වන අන්දමට අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානය පැයට සැතපුම් 24ක වේගයකින් ගමන් කරමින් තිබී ඇත. යුනයිටඩ් එයාර්ලයින්ස් යානයක හටගත් හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙම ගිනි නිවන රථය ධාවන පථය වෙත කැඳවා තිබූ අතර, ගුවන් ගමන් පාලකවරුන් විසින් ගිනි නිවන රථය නැවැත්වීමට උත්සාහ කළ ද මෙම සන්නිවේදන බිඳවැටීම නිසා අනතුර වළක්වා ගැනීමට නොහැකි වී තිබේ.
මෙම අනතුර හේතුවෙන් ලගාර්ඩියා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගත් අතර, අද පස්වරු 2.00 දක්වා සියලුම ගුවන් ගමන් නතර කිරීමට ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) නියෝග කළේය. ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, දැනට පවතින තොරතුරු අනුව මෙය කිසියම් කුමන්ත්‍රණයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව අත්වැරදීමකින් සිදු වූ අනතුරක් බවට විශ්වාස කෙරේ. අනතුරෙන් තුවාල ලැබූවන්ගෙන් 32 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතත්, තවත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.














