ගෝලීය යුදමය වාතාවරණය හමුවේ මතුව ඇති බලශක්ති අභියෝගයට පිළියම් ලෙස දිවයින පුරා ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා නව කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අද (23) උදෑසන සිටම කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට සියලුම පළාත් වෙත අඛණ්ඩව ඉන්ධන බවුසර් පිටත් කර හැරීමට පියවර ගෙන ඇත. රථවාහනවල අංක තහඩුවේ අවසන් අංකයට අනුව QR කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම සිදුකරන අතර කොළඹ සහ පිට පළාත්වල පවතින ඉන්ධන පිරවුම්හල් වෙත බාධාවකින් තොරව තෙල් ප්‍රවාහනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.
පවතින ලෝක තත්ත්වය හමුවේ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් බව විද්වතුන් මෙන්ම ‘අලුත් පියාපත්’ සංවිධානය ද පෙන්වා දෙයි. ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට මෙය දැඩි අභියෝගයක් වුවද හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය හරහා පෝලිම් පාලනය කරමින් ගැටලුවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසී තිබේ. ලෝක යුද ගැටුම් හමුවේ ඉන්ධන අර්බුදය සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කර ඇති බැවින් මේ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම බලධාරීන් අවධාරණය කරයි.














