ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සංවිධානය කළ අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලියකදී, ආරක්ෂිත සතෙකු වන පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ යෙදුණු බව කියන නෙත්මි හිරන්‍යා නැමති තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය අද (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ආරක්ෂිත සත්වයකුට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස අදාළ තරුණියට දැනුම් දුන්නද ඇය එය මගහැර ඇති බවයි. කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේ පැවැති මෙම උත්සවයේදී වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා තරග සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට අවසර ලබා දුන්නාය. වනජීවී නීතියට අනුව මෙවැනි සතුන් ප්‍රදර්ශනය කිරීම හෝ හිංසා කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.














