ශ්‍රී ලංකාවේ වටිනා වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ අලුතින් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්‍රයට වනජීවී හා ස්වභාවික සම්පත් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (23) අත්සන් තැබීය. ලෝක වනාන්තර දිනයට සමගාමීව සිදුකළ මෙම පියවර හරහා මෙරට වනාන්තර ආවරණය 2030 වන විට 32% දක්වා ඉහළ නැංවීමේ ‘පැරිස් සම්මුතියේ’ ඉලක්ක සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි.
මෙම වනාන්තර 50 රක්ෂිත ලෙස නම් කිරීමේදී අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්කවල පිහිටි සංවේදී පරිසර පද්ධති කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. මෙම වැඩසටහනේ පළමු කාර්තුව යටතේ සිදුකළ මෙම ප්‍රකාශයට පත් කිරීම මගින් අදාළ ප්‍රදේශවල සිදුවන අනවසර කඩාවැදීම් සහ වන විනාශයන් වැළැක්වීමට නීතිමය රාමුවක් සකස් කෙරෙනු ඇත.













