ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළ නව බස් ගාස්තු සංශෝධනය මේ මොහොතේ පවතින තත්ත්වය අනුව ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව හෙට (24) දින සිට දිවයින පුරා බස් රථ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා තහවුරු කළේය. අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූ අතර ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇත.
මීට අමතරව අවසන් ගාස්තුව ලෙස පැවති රුපියල් 2,159 බස් ගාස්තුව රුපියල් 2,422 දක්වා රුපියල් 263කින් ඉහළ ගොස් තිබේ. මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දී ඇති අතර නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන පිරිස් සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී. නීති විරෝධී ලෙස වැඩිපුර ගාස්තු අය කරන්නන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද බලධාරීන් සූදානමින් සිටියි.














