ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය ඉරානය සමඟ හවුලේ පවත්වාගෙන යාමට ඇමරිකාව සූදානම් විය හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (23) පෙරළිකාර ප්‍රකාශයක් සිදු කළේය. වත්මන් යුදමය වාතාවරණය හමුවේ ඉරාන රජයේ ඉහළ නිලධාරීන් රැසක් ඉවත් වෙමින් පවතින බැවින්, එරට පාලන තන්ත්‍රයේ පැහැදිලි වෙනසක් (Regime change) දැනටමත් සිදුවෙමින් පවතින බව ඔහු මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, “සමහර විට මම, නැත්නම් මම සහ මීළඟට පත්වන අයතුල්ලා කවුරු වුණත් – අපි එක්ව එය පාලනය කරාවි” යනුවෙනි. ඉකුත් ඉරිදා ඉරාන ඉහළ පෙළේ නායකත්වය සමඟ පැවැත්වූ බව කියන සාකච්ඡාවලදී වැදගත් එකඟතා කිහිපයකට පැමිණි බව ට්‍රම්ප් පැවසුවද, ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කමේනිගෙන් තමන්ට මෙතෙක් සෘජු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය. කලාපීය බල අරගලය හමුවේ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලනයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.














