ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක 2026 අයි.පී.එල් තරගාවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වූ බව එම කණ්ඩායම් කළමනාකාරීත්වය ඊයේ (23) නිල වශයෙන් නිවේදනය කළේය. එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී ඇති අතර, ඒ සඳහා සුදුසුම ආදේශකයා ලෙස දසුන්ව තෝරාගත් බව රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.
දසුන් ශානක යනු මැදපෙළ ශක්තිමත් කළ හැකි ප්‍රබල පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු යවන්නෙකු ද වන බැවින් කණ්ඩායමේ සමබරතාවය රැක ගැනීමට ඔහු විශාල පිටුවහලක් වනු ඇතැයි සංගක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 2015 වසරේ ජාත්‍යන්තර වරම් දිනූ දසුන්, මේ වන විට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 131කදී ලකුණු 1,912ක් ලබාගෙන ඇති අතර ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී පකිස්ථානයට එරෙහිව ලබාගත් නොදැවී ලකුණු 76යි. පන්දු යැවීමේදී ද දක්ෂතා දක්වා ඇති ඔහු කඩුලු 46ක් බිඳ හෙළා ඇති අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 16කට කඩුලු 3කි.
34 හැවිරිදි දසුන් ශානක මීට පෙර 2023 වසරේදී ගුජරාට් ටයිටන්ස් (Gujarat Titans) කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් අත්දැකීම් ලබා ඇති ක්‍රීඩකයෙකි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහභාගී වන මෙවර තරගාවලියේ පළමු තරගය මාර්තු 30 වනදා ගුවහාටි හිදී චෙන්නායි සුපර් කිංග්ස් (Chennai Super Kings) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. ලාංකීය ක්‍රිකට් ලෝලීන් දසුන්ගේ මෙම නව ගමන පිළිබඳව මහත් උනන්දුවෙන් පසුවෙති.














