ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසතෝ කන්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (23) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සහ මෙහෙයුම් කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
මහින්ද සිරිවර්ධන, සෝනා ශ්‍රේෂ්ඨා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගෙන් සමන්විත මෙම නියෝජිත කණ්ඩායම කොළඹ වරාය පරිශ්‍රයේ සහ එහි නියමුවා නැවතුම්පොළේ (Pilot Station) සිදුකෙරෙන යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සෘජුවම නිරීක්ෂණය කළහ. අනතුරුව ඔවුන් වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා සමඟ විශේෂ සාකච්ඡාවක ද නිරත වූහ.
මෙහිදී වරාය මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ආසියානු සංවර්ධන බැංකුව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. ශ්‍රී ලංකාව කලාපීය නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව මෙහිදී සිය කැපවීම යළිත් තහවුරු කළේය.












