පවතින බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන වෙත නව මාර්ගෝපදේශ මාලාවක් අද (24) උදෑසන නිකුත් කර තිබේ. මෙම උපදෙස් මාලාව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රජයේ සහ ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
නව මාර්ගෝපදේශයන්ට අනුව, නිල වාහන සඳහා ලබාදෙන ඉන්ධන කෝටාවන් දැඩි ලෙස කළමනාකරණය කළ යුතු අතර, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සීමා කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම රජයේ කාර්යාල පරිශ්‍රයන් තුළ විදුලි පහන්, වායුසමීකරණ යන්ත්‍ර සහ අනෙකුත් විදුලි උපකරණ භාවිතයේදී උපරිම අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙසත්, හැකිතාක් ස්වභාවික ආලෝකය සහ වාතාශ්‍රය භාවිතා කිරීමට හුරු වන ලෙසත් මෙහිදී අවධාරණය කර ඇත.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන බාධා හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම මෙම පියවරෙහි මූලික අරමුණ වී තිබේ. රාජ්‍ය අංශය ආදර්ශමත් ලෙස මෙම බලශක්ති ඉතිරි කිරීමේ ක්‍රියාවලියට දායක විය යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.












