ඉන්දියාව සිය විදේශීය ආරක්ෂක උපදේශක (Defence Attache) ජාලය ප්‍රතිසංස්කරණය කරමින්, එරට නිෂ්පාදිත යුද උපකරණ සහ පද්ධති මිලදී ගැනීමට වැඩි ඉඩකඩක් ඇති රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට පියවර ගෙන තිබේ. මෙතෙක් කලක් ඉන්දියාවට යුද උපකරණ අලෙවි කළ රටවල සිටි ආරක්ෂක උපදේශකයන් සංඛ්‍යාව අඩු කර, අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රටවල් වෙත ඔවුන්ව අනුයුක්ත කිරීමට මෙහිදී කටයුතු කර ඇත. මෙමගින් 2029-30 මූල්‍ය වර්ෂය වන විට ඉන්දියාවේ ආරක්ෂක අපනයන රුපියල් කෝටි 50,000ක ඉලක්කයක් කරා රැගෙන යාම රජයේ මූලික අරමුණයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් පෙන්වා දෙන පරිදි, මීට පෙර රුසියාව, ප්‍රංශය, ඊශ්‍රායලය සහ ඇමරිකාව වැනි ඉන්දියාවට ආයුධ සපයන රටවල වැඩි අවධානයක් යොමු කර තිබුණද, නව සැලසුම යටතේ ගිනිකොනදිග ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකානු කලාපීය රටවල් වෙත එම අවධානය යොමු කරනු ඇත. 2024-25 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ ආරක්ෂක අපනයනය රුපියල් කෝටි 23,682ක් දක්වා සියයට 12ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, රටවල් 100කට අධික සංඛ්‍යාවකට ඉන්දීය නිෂ්පාදිත මිසයිල, රොකට්, සන්නද්ධ වාහන සහ රේඩාර් පද්ධති ඇතුළු උපකරණ රැසක් අලෙවි කර තිබේ.
මෙම නව උපායමාර්ගය හරහා ඉන්දියාවේ පුද්ගලික අංශය සහ රජයට අයත් ආරක්ෂක නිෂ්පාදන ආයතන (DPSUs) තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. හමුදා රාජ්‍ය තාන්ත්‍රිකභාවය (Military Diplomacy) භාවිත කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ප්‍රබල අපනයනකරුවෙකු ලෙස මතු වීමට ඉන්දියාව ගන්නා මෙම උත්සාහය කලාපීය ආරක්ෂක බලතුලනය කෙරෙහි ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇත. දේශීය නිෂ්පාදන දිරිමත් කරමින් ‘Make in India’ සංකල්පය යටතේ යුදමය වශයෙන් ස්වයංපෝෂිත වීම මෙන්ම ගෝලීය වෙළඳපොළ ජය ගැනීම ඉන්දියාවේ වර්තමාන ආරක්ෂක ප්‍රතිපත්තිය වී තිබේ.














