ස්විස් දූෂණ නිරීක්ෂණ ආයතනයක් වන IQAir මගින් නිකුත් කරන ලද 2025 ලෝක වායු තත්ත්ව වාර්තාවට අනුව, ලොව රටවල් 143ක් අතරින් සෞඛ්‍යාරක්ෂිත වාතය පවතින්නේ රටවල් 13ක පමණක් බව අනාවරණය වී තිබේ. මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස, ලැව්ගිනි සහ ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් ගෝලීය වායු තත්ත්වය සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්ෂික PM2.5 මාර්ගෝපදේශ සපුරාලීමට සමත්ව ඇත්තේ යුරෝපයේ ඇන්ඩෝරා, එස්තෝනියාව සහ අයිස්ලන්තය යන රටවල් තුන පමණි. ගෝලීය වශයෙන් ඕස්ට්‍රේලියාව, පැනමාව, පුවර්ටෝ රිකෝ සහ බාබඩෝස් වැනි රටවල් කිහිපයක් ද මෙම ආරක්ෂිත ලැයිස්තුවට ඇතුළත් වේ. මෙයින් ගම්‍ය වන්නේ ලොව රටවල්වලින් සියයට 91ක්ම හුස්ම ගන්නේ සෞඛ්‍යයට අහිතකර වාතය බවයි.
ලොව වඩාත්ම වායු දූෂණය පවතින රටවල් අතර පාකිස්ථානය, බංග්ලාදේශය සහ ටජිකිස්ථානය පෙරමුණේ පසුවන අතර, ලොව අපිරිසිදුම නගර 25ම ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවල පිහිටා තිබීම විශේෂත්වයකි. විශේෂයෙන්ම ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ලෝනි (Loni) නගරය ලොව වඩාත්ම වායු දූෂිත නගරය ලෙස නම් කර ඇත. එහි වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සීමාවට වඩා 22 ගුණයකටත් වඩා වැඩිය.
වායු දූෂණය මෙලෙස ඉහළ යාම හෘද රෝග, පිළිකා සහ ශ්වසන ආබාධ වැනි දරුණු සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වන බව විශේෂඥයෝ පවසති. මෙම වාර්තාව මගින් අවධාරණය කරන්නේ විමෝචනය අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම ගෝලීය වායු තත්ත්වය යහපත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බවයි. කෙසේ වෙතත්, ඇමරිකාව වැනි රටවල් පවා සිය වායු තත්ත්ව නිරීක්ෂණ වැඩසටහන් නතර කිරීම නිසා නිවැරදි දත්ත ලබා ගැනීමේ ගැටලු ද මතුවෙමින් පවතී.














