ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර පවතින ගැටුම දැන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට පැය 48ක කාලයක් ලබා දුන් ට්‍රම්ප්, සඳුදා උදෑසන වන විට සිය ස්වරය වෙනස් කරමින් ඉරානය සමඟ “ඵලදායී” සාකච්ඡා පවතින බව ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාර දින පහක කාලයකට අත්හිටුවීමට ඔහු පියවර ගෙන තිබේ.
මෙම බැරෑරුම් යුදමය වාතාවරණය මධ්‍යයේ ජනාධිපතිවරයා ටෙනසිහි මෙම්ෆිස් වෙත ගොස් එල්විස් ප්‍රෙස්ලිගේ සුප්‍රසිද්ධ ‘ග්‍රේස්ලන්ඩ්’ මන්දිරයේ සංචාරය කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. එහිදී ඔහු එල්විස්ගේ නිර්මාණ රසවිඳිමින් සිටියද, පසුබිමෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු සමඟ දුරකථන සංවාද පවත්වමින් ඉරාන නායකත්වය ඉලක්ක කළ මෙහෙයුම් පිළිබඳව ද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් පවසන්නේ ඉරානය සමඟ කරුණු 15ක එකඟතාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ට්‍රම්ප්ගේ මෙම “ප්‍රහාර අත්හිටුවීමේ” ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටුණු අතර කොටස් වෙළඳපොළවල් යම් වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ ඇමරිකාව සිය තර්ජන හමුවේ පසුබෑමකට ලක්ව ඇති බවයි. දැන් මුළු ලෝකයම බලා සිටින්නේ මෙම නව දින පහක කාල සීමාව අවසානයේදී සාමය උදාවනු ඇත්ද නැතහොත් යුද්ධය තවදුරටත් දරුණු වනු ඇත්ද යන්න පිළිබඳවයි. එල්විස්ගේ ‘It’s Now or Never’ ගීතය මෙන්, මෙය ට්‍රම්ප්ට සහ ඉරානයට සිය ගැටුම් විසඳා ගැනීමට ලැබී ඇති අවසන් අවස්ථාව විය හැකිය.














