දකුණු පැසිෆික් කලාපයේ පිහිටි ටොංගා (Tonga) දූපත් සමූහයේ නෙයියාෆු (Neiafu) නගරයට බටහිරින් කිලෝමීටර් 153ක් දුරින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් අඟහරුවාදා දින සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි. මෙම භූමිකම්පාව පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 235කට වඩා වැඩි ගැඹුරකින් සිදුව ඇති බැවින් ඉන් සුනාමි අවදානමක් මතු නොවන බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය (PTWC) තහවුරු කර තිබේ.
මෙම ප්‍රබල භූමිකම්පාවෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර, මෙය ටොංගා රාජ්‍යය ආශ්‍රිතව දින දෙකක් තුළ වාර්තා වූ දෙවන භූමිකම්පාවයි. මීට පෙර සඳුදා දිනයේදී ද රික්ටර් මාපකයේ 6.2ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් ටොංගා හි හිහිෆෝ (Hihifo) ප්‍රදේශයෙන් වාර්තා විය. පැසිෆික් කලාපයට අමතරව නේපාලයේ සුදුර්පස්චිම් (Sudurpaschim) පළාතේ ද සඳුදා දින රික්ටර් මාපකයේ 4.1ක භූමිකම්පාවක් සිදුව ඇති අතර, එය බජාන්ග් (Bajhang) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් වාර්තා වී ඇත.
ලොව භූමිකම්පා බහුලව සිදුවන රටවල් අතර 11 වන ස්ථානයේ පසුවන නේපාලය සහ පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් නිරන්තරයෙන් මෙවැනි භූ චලනයන්ට ලක්වන සක්‍රීය භූ තැටි කලාපවල පිහිටා තිබීම මෙම තත්ත්වයට හේතුවයි. විශේෂයෙන්ම හිමාල අසල පිහිටි නේපාලය අතිශය අවදානම් සහගත භූ කම්පන කලාපයක (Seismic zones IV and V) පිහිටා ඇති බැවින් නිරන්තරයෙන් සුළු හා මධ්‍යම පරිමාණයේ භූමිකම්පා එරටින් වාර්තා වේ.












