එළැඹෙන ජූලි මාසයේදී ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව නැවත වරක් ගාස්තු සංශෝධනයක් සිදුවේද යන්න පිළිබඳව රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අද (2026 මාර්තු 24) කරුණු අනාවරණය විය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඉදිරි තීරණ බොහෝ දුරට මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ඒ හරහා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල හැසිරෙන ආකාරය මත රඳා පවතින බවයි.
දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුම් දාමය අඩාල වුවහොත් තීරණ ගැනීමට සිදුවන නමුත්, රජයේ මූලික අරමුණ ජනතාවට සහන සැලසීම බව අමාත්‍යවරයා අවධාරණය කළේය. යම් හෙයකින් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටුණහොත්, එහි වාසිය ජනතාවට ලබා දෙමින් දැනට ඉහළ ගොස් ඇති බස් ගාස්තු නැවත පහළ දැමීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ජූලි 31 වනදා ක්‍රියාත්මක වීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ජනතාවට අමතර බරක් පැටවීමට රජය බලාපොරොත්තු නොවන අතර, සියල්ල තීරණය වන්නේ ඉදිරි මාස කිහිපය තුළ පවතින ගෝලීය දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය මතය.














