ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය විධිමත් කිරීමේ අරමුණින් සැලසුම් කළ ‘ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය’ යළි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කොරියානු EXIM බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල (EDCF) සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා මූලික අනුමැතිය 2018 වසරේදී ලැබී තිබුණද, විවිධ හේතූන් මත එහි ප්‍රගතිය අඩාල වී තිබුණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව, විද්වත් කමිටු නිර්දේශ මත පදනම්ව මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට නියමිතය. මෙමගින් ජාතික මට්ටමේ ඉ-ඉගෙනුම් මධ්‍යස්ථානයක් (e-Learning Centre) ස්ථාපනය කිරීමට අමතරව දකුණු සහ නැගෙනහිර පළාත් සඳහා වෙනම පළාත් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට ද සැලසුම් කර ඇත. සාමාන්‍ය, උසස් සහ වෘත්තීය යන අධ්‍යාපන අංශ තුනම ආවරණය වන පරිදි විධිමත් ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙම දැවැන්ත ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාවයි.












