ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට අදාළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජය සහ රජය අතර (G2G) ගිවිසුම් මගින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි. මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත අතර එහිදී තීරණාත්මක සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිතව ඇත.
ඉරාන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට කළ ප්‍රකාශය පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එම ස්ථාවරය අගය කරන නමුත්, ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීමේදී පවතින ප්‍රධානතම බාධකය වන්නේ ප්‍රවාහනය සඳහා අවශ්‍ය නැව් පහසුකම් මෙරට සතුව නොමැති වීම බව ඔහු පෙන්වා දුන්නේය. නැව් හිමි රටවලට එවැනි අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත හැකි වුවද ශ්‍රී ලංකාවට එවැනි හැකියාවක් නොමැති වීම හේතුවෙන් දැනට පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සිදුව තිබේ.
කෙසේ වෙතත්, මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ වන විටත් බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන සඳහා ඇණවුම් කිහිපයක් ලබා දී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. දැනට විවෘත කර ඇති ටෙන්ඩර්වලට අනුව එළඹෙන අප්‍රේල් මාසයේදී ඉන්ධන නැව් කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිතය. අද දිනයේදී ද තවත් ටෙන්ඩරයක් විවෘත කිරීමට නියමිත අතර, එමගින් ලැබෙන ඉන්ධන තොග ද ඇතුළුව ඉදිරි කාලසීමාව තුළ ඉන්ධන පෝලිම් පාලනය කිරීමට සහ තොග කළමනාකරණය කිරීමට රජය සැලසුම් කර ඇත.














