වසර 50කට වැඩි කාලයකට පසු මානව වර්ගයා යළිත් සඳ වෙත රැගෙන යන තීරණාත්මක Artemis II මෙහෙයුම එළඹෙන අප්‍රේල් 1 වනදා දියත් කිරීමට නසා (NASA) ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ. ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම, 1972 ඇපලෝ මෙහෙයුම්වලින් පසු මිනිසෙකු සඳ ආසන්නයට යන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වනු ඇත. මෙම මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ‘ඔරායන්’ (Orion) යානයෙන් සැතපුම් ලක්ෂ 5කට වැඩි දුරක් ගෙවමින් සඳ වටා ගොස් දින 10ක ගමනකින් පසු යළි පෘථිවියට පැමිණීමට නියමිතය.
ලොව බලවත්ම රොකට්ටුව වන Space Launch System (SLS) මෙහිදී භාවිතා කෙරෙන අතර, මෙහෙයුම මගින් සඳ මත ස්ථිර පදනමක් පිහිටුවීමට සහ අනාගතයේදී අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට අවශ්‍ය මූලික පර්යේෂණ සිදු කරනු ලබයි. කුඩා බස් රථයක පමණ ඉඩකඩ ඇති යානයක් තුළ දින 10ක් ගත කිරීමට සිදුවීම සහ සඳෙහි අඳුරු පැත්ත ගවේෂණය කිරීම මෙහි ඇති ප්‍රධාන අභියෝගයන් ලෙස සැලකේ. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් අනතුරුව එළඹෙන Artemis III මෙහෙයුම හරහා මිනිසාට යළිත් සඳ මත පා තැබීමට අවස්ථාව හිමි වනු ඇත. දැනටමත් අභ්‍යවකාශගාමීන් සිව්දෙනා සිය සෞඛ්‍යාරක්ෂිත නිරෝධායන කාලසීමාව ආරම්භ කර ඇති අතර, ලොවම බලා සිටින මෙම මහා පිම්ම මානව අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු නොඅනුමානය.














