අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීම සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීමටත්, ඒ වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් කඩිනමින් සකස් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ. මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කමිටුව සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද (2026 මාර්තු 24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු වීමට නම්, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය නඩු භාණ්ඩ ලෙස තබා නොගෙන හැකි ඉක්මනින් විනාශ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සකස් කර ඇති නීති සංශෝධන කෙටුම්පත පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලූ අතර, අධිකරණය, පොලීසිය සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද සාකච්ඡා විය.
ජාවාරම්කරුවන්ට නීතියෙන් රිංගා යාමට ඇති ඉඩකඩ අහුරමින් සහ නඩු භාණ්ඩ යළි සමාජගත වීමට ඇති අවදානම වළක්වමින් මෙම නව නීති ගෙන ඒමට තීරණය කර ඇත. යෝජිත පනත් කෙටුම්පත අවශ්‍ය සංශෝධන සහිතව හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














