කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් ඉහළ නැංවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ සිදුකළ ඇගයීම්වලින් අනතුරුව, රුපියල් මිලියන 2,162.64ක (බදු රහිත) වටිනාකමකින් යුත් මෙම කොන්ත්‍රාත්තුව M/s. MAGA Engineering (Pvt) Ltd ආයතනය වෙත පිරිනැමීමට තීරණය කර ඇත. ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව රජය නිවේදනය කළේය.
මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ කොටුව දුම්රිය ස්ථානයේ මරදාන අන්තයේ සහ බම්බලපිටිය අන්තයේ දැනට පවතින පැරණි මගී පාලම් ඉවත් කර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ද පහසුවෙන් භාවිත කළ හැකි පරිදි නවීන ප්‍රවේශයන් සහිත නව පාලම් ඉදිකිරීමට නියමිතය. මීට අමතරව, නව මගී පාලම් සමඟ සම්බන්ධ වූ ප්‍රවේශ පත්‍ර කවුළු සහ තෙමහල් සේවා ගොඩනැගිල්ලක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මෙමඟින් දිනපතා කොටුව දුම්රිය ස්ථානය භාවිත කරන ලක්ෂ සංඛ්‍යාත මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු සේවාවක් සැපයීමට බලාපොරොත්තු වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයතන හතරක් ලංසු ඉදිරිපත් කර තිබූ අතර, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අවම ලංසුකරු ලෙස මාගා ඉංජිනේරු සමාගම තෝරාගෙන ඇත. 1908 වසරේ ඉදිකරන ලද කොටුව දුම්රිය ස්ථානයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා වන පරිදි මෙම නවීන පහසුකම් එක් කිරීම වත්මන් රජයේ නාගරික සංවර්ධන සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස සැලකේ.














