අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේදී පවතින නීතිමය බාධා ඉවත් කර එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා නඩු භාණ්ඩ ලෙස පවතින මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා විධිමත් සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
අදාළ නීති සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් දැනටමත් සකස් කර ඇති බවත්, එමඟින් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට අපේක්ෂා කරන බවත් නිලධාරීහු මෙහිදී සඳහන් කළහ. අධිකරණය, පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු මෙන්ම නඩු කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුවට මතුවන බාධාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතරතුර, අධිකරණ භාරයේ පවතින මත්ද්‍රව්‍ය නැවත සමාජගත වීම වැළැක්වීම අතිශය තීරණාත්මක බව බලධාරීහු පෙන්වා දුන්හ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත නඩු කටයුතුවල වත්මන් තත්ත්වය සහ පවතින බාධා ඉවත් කිරීමට පොලිසිය ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළේය. එසේම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. නීතිමය බාධා ඉවත් කර මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට හැකි වන පරිදි සංශෝධිත පනත් කෙටුම්පත හැකි ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කෙරිණි.














