ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ආරක්ෂිත සහ හිතකර ගමනාන්තයක් බැවින් මෙරට ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ට විවෘත ආරාධනයක් සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී කථානායකවරයා මේ බව සඳහන් කළ අතර, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ද අඛණ්ඩ සහතිකයක් ලබා දීමට ඔහු මෙහිදී පියවර ගත්තේය. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කෙරුණි.
මෙහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව යළිත් තහවුරු කළේය. විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ පරිප්පු ඇතුළු ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබේ. දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා පිළිබිඹු කරමින් ඉදිරියේදී ආර්ථික හා වෙළඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළහ.














