ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු විසින් රුපියල් මිලියන 15ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (25) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වෙන් කර ඇති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ කිසිදු රේගු ප්‍රකාශ කිරීමක් නොකර පිටව යාමට උත්සාහ කිරීමේදී මෙම සැකකරුවන් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වන්නේ ඩුබායි හි සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ගුරුවරියකි. මොවුන් දෙදෙනා අද අලුයම 3.15ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි (FlyDubai) ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් රැගෙන ආ ගමන් මලු 8ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මැන්චෙස්ටර් (Manchester) සහ ප්ලැටිනම් (Platinum) වර්ගයේ විදේශීය දුම්වැටි කාටූන් 500ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. එහි අඩංගු මුළු දුම්වැටි සංඛ්‍යාව ලක්ෂයකට අධික බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන පවත්වන බවත් වාර්තා වේ.














