මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය රැස්කර තබා ගැනීමට එරට වැසියන් පෙළඹීම නිසා ලංකා තේ (Ceylon Tea) සඳහා පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසී යාම සහ ප්‍රවාහන බාධා හේතුවෙන් මාර්තු මස මුලදී තේ අපනයනයට යම් බලපෑමක් එල්ල වුවද, මේ වන විට විකල්ප නාවික මාර්ග ඔස්සේ තේ තොග පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.
තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර මහතා සඳහන් කළේ ඉරානය, සවුදි අරාබිය සහ කුවේට් වැනි රටවලට සෘජු අපනයන කටයුතුවලට බාධා පැවතියද, තුර්කිය සහ ඉරාකය වැනි රටවල් හරහා විකල්ප මාර්ග ඔස්සේ තේ යැවීම ආරම්භ කර ඇති බවයි. පසුගිය සතියේ පැවති තේ වෙන්දේසියේදී තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 1,153ක් ලෙස ස්ථාවර මට්ටමක පැවති අතර, නොවික්ණු තේ ප්‍රමාණය ද සියයට 8-10ක සාමාන්‍ය අගයකට පත්ව ඇත. මීට අමතරව, තේ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තේ කර්මාන්තශාලාවලට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ද විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.














