එළඹෙන යල කන්නයේ වගා කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා අවශ්‍ය පොහොර තොග නිසි කළමනාකරණයකින් යුතුව ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඊයේ දින පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නියමිත වේලාවට ලබා දීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බවයි. ඒ අනුව වී වගාව ඇතුළු අනෙකුත් බෝග සඳහා අවශ්‍ය වන යූරියා ඇතුළු පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිපන්දහසක පමණ ප්‍රමාණය කඩිනමින් සපයා ගැනීමටත්, ඒවා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් මෙහිදී තීරණය විය. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ සිදුවන වෙනස්කම් සැලකිල්ලට ගනිමින්, පොහොර හිඟයක් ඇති නොවීමට රජයේ සහ පෞද්ගලික අංශයේ පොහොර සමාගම් ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මීට අමතරව යල කන්නය සඳහා වී වගා කරන ගොවීන්ට ලබා දෙන මූල්‍ය සහනාධාරය අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කර ඇති අතර, එම මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද උපදෙස් දෙන ලදී. පොහොර මිල අහිතකර ලෙස ඉහළ යාම වැළැක්වීමට සහ වෙළෙඳපොළේ පවතින තොග පිළිබඳව දැඩි අධීක්ෂණයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. දේශීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් පහසුකම් ප්‍රමුඛතාව මත ලබා දීමට රජය සූදානම් බවත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















