ඇමරිකානු පුරවැසියෙකු සමඟ විවාහ වී සිටින ටානියා වෝනර් (Tania Warner) නමැති කැනේඩියානු ජාතික කාන්තාව සහ ඇගේ 7 හැවිරිදි ඕටිසම් (Autistic) තත්ත්වයෙන් පසුවන දියණිය ටෙක්සාස්හි ආගමන විගමන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා ගැනීම පිළිබඳව අද (2026 මාර්තු 25) පෙරවරුවේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ විය. පසුගිය මාර්තු 14 වනදා ටෙක්සාස්හි සරීටා (Sarita) ප්‍රදේශයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින් ඔවුන්ව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඇගේ ස්වාමිපුරුෂයා වන එඩ්වඩ් වෝනර් පවසන පරිදි, වීසා කාලය ඉක්මවා රැඳී සිටීම (Overstay) සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති අතර දැනට ඔවුන්ව ඩිලී (Dilley Detention Center) රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියි. එහි පවතින දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් තම දියණිය දැඩි පීඩාවකට පත්ව සිටින බවත්, සීතලෙන් ආරක්ෂා වීමට ‘ෆොයිල්’ (Foil) රෙදි භාවිත කරමින් බිම නිදා ගැනීමට සිදුව ඇති බවත් ඔහු මාධ්‍ය වෙත හෙළි කළේය.
ඇමරිකානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (DHS) ප්‍රකාශ කරන්නේ රැකියා අවසරපත් තිබීමෙන් පමණක් නීත්‍යානුකූල පදිංචිය තහවුරු නොවන බවත්, වීසා කාලය ඉක්මවා සිටින ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට නීතියෙන් ඉඩ පවතින බවත්ය. කෙසේ වෙතත්, කුඩා දරුවෙකු මෙලෙස රඳවා තබා ගැනීම මානුෂීය පදනම යටතේ විවේචනයට ලක්වෙමින් පවතී.














