අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති මත පදනම්ව ගොඩනැගෙන වර්තමාන ගෝලීය දේශපාලන රටාව තුළ, ඕනෑම රටක ස්වෛරීභාවය සහ ආරක්ෂාව තීරණය වන්නේ එම රට සතු ශක්තිමත් හමුදා බලය මත පමණක් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ ඉරානයට එරෙහිව අමෙරිකාව දියත් කර ඇති හමුදාමය මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු මේ බව සඳහන් කළේය. ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකාව අනුගමනය කරන “බලය හරහා සාමය” (Peace through Strength) යන ප්‍රතිපත්තිය හමුවේ දුර්වල රටවලට පැවැත්මක් නොමැති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
උතුරු කොරියානු නායකයා වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයට එරෙහිව ඇමෙරිකානු පැරෂුට් භටයින් දහසකට අධික පිරිසක් යෙදවීම සහ ලෙබනනයට එල්ල වන ප්‍රහාර හමුවේ ජාත්‍යන්තර නීතිය අභිබවා යුධ ශක්තිය ඉස්මතු වී ඇති බවයි. මේ හේතුවෙන් තම රටේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය. ට්‍රම්ප් සහ ඉරානය අතර ඇති වූ බව කියන රහසිගත එකඟතාවන් දෙස බලාපොරොත්තු සහගතව බලනවාට වඩා, තමන්ගේම ආරක්ෂක වළලු ශක්තිමත් කර ගැනීම නුවණට හුරු බව උතුරු කොරියාවේ මතය වී තිබේ.
මෙම ප්‍රකාශයත් සමඟ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජපානය සහ දකුණු කොරියාව සිය කනස්සල්ල පළ කර ඇත. ට්‍රම්ප්ගේ “තෑගි” සහ “ගනුදෙනු” මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය හමුවේ උතුරු කොරියාව සිය හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමට පෙළඹීම කලාපීය අස්ථාවරත්වයට හේතු විය හැකි බව විචාරකයෝ පවසති. කෙසේ වෙතත්, උතුරු කොරියානු නායකයාගේ මෙම ස්ථාවරය අමෙරිකාව සමඟ ඉදිරියේදී පැවැත්විය හැකි සාකච්ඡාවලදී වැඩි වාසි ලබාගැනීමේ අරමුණින් සිදු කරන ලද්දක් දැයි සැකයක් ද පවතී.














