ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවට මෙරටට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කිසිදු ආරාධනයක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (මාර්තු 24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යළිත් අවධාරණය කළේය. ඉන්දියාවේ පැවැති උත්සවයක් අතරතුර නාවික හමුදාපතිවරයා විසින් සිදු කරන ලද වාචික සහ සුහද ආරාධනයක් හැර වෙනත් කිසිදු නිල ආරාධනයක් මෙහිදී සිදුව නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවැනි ජාත්‍යන්තර හමුවලදී නාවික හමුදාපතිවරුන් අතර සාමාන්‍යයෙන් මෙවැනි වාචික ආරාධනා හුවමාරු වන බවත්, ඒවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නිල ආරාධනා ලෙස සැලකිය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉරාන තානාපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කර තිබුණේ අදාළ නෞකාව මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ආරාධනයකට අනුව බවයි. තානාපතිවරයාගේ මෙම ප්‍රකාශය සහ ඔහු පසුගියදා පැවැති විරෝධතාවකට සහභාගී වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඒ පිළිබඳව තමන් අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවත් අවශ්‍යතාවයක් වුවහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා ප්‍රතිචාර දක්වනු ඇති බවත්ය. මැදපෙරදිග පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රටක් ලෙස කටයුතු කරන බවත්, එම මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගනිමින් රටට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට සූදානම් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.














