කුමන්ත්‍රණ උත්සාහයක් සම්බන්ධයෙන් වසර 27ක සිරදඬුවමක් නියම වී සිටින බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) ඔහුගේ පිරිහී යන සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාරය වෙනුවට සිය නිවසේ සිට දඬුවම විඳීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (2026 මාර්තු 24) අවසර ලබා දුන්නේය. 71 හැවිරිදි බොල්සොනාරෝ පසුගිය මාර්තු 13 වනදා සිට නියුමෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇලෙක්සැන්ඩර් ද මොරෙස් (Alexandre de Moraes) ලබා දුන් තීන්දුවට අනුව බොල්සොනාරෝ රෝහලෙන් පිටව ගිය පසු බ්‍රසීලියා අගනුවර පිහිටි ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතය.
නිවාස අඩස්සියේ කොන්දේසි යටතේ ඔහුට පාදයේ පැළඳිය යුතු විද්‍යුත් නිරීක්ෂණ මෙවලමක් (Ankle monitor) භාවිත කිරීමට සිදුවන අතර ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වේ. එසේම වෛද්‍යවරුන්ට සහ පවුලේ සාමාජිකයින්ට හැර වෙනත් කිසිදු අමුත්තෙකුට ඔහුව හමුවීමට අවසර නැති අතර ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කිරීම, සම්මුඛ සාකච්ඡා ලබා දීම හෝ සමාජ මාධ්‍ය භාවිතය ද තහනම් කර ඇත. ඔහුගේ නිවස අවට ප්‍රදේශීය පොලිසිය මගින් දැඩි ආරක්ෂාවක් යොදවන අතර විරෝධතාකරුවන්ට එම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර නොලැබේ. විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දින 90කට පසු බොල්සොනාරෝගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නැවත වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා මෙම නිවාස අඩස්සියේ තීරණය සමාලෝචනය කරන බවයි. මීට පෙර බොල්සොනාරෝගේ පවුලේ අය කළ මෙවැනිම ඉල්ලීම් කිහිපයක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.














