කොවිඩ් වසංගතය පැවති 2020 වසරේදී අභිරහස් ලෙස අතුරුදහන් වූ විවාහක යුවළකගේ සිරුරු කොටස් වසර හයකට පසු වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (මාර්තු 24) සොයාගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි වියේ පසු වූ සුනිල් කුමාරසිංහ සහ කමණ්ඩා සිල්වා නැමැති යුවළකි. ඔවුන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශන අසාර්ථක වීම හේතුවෙන් ඥාතීන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කළ ඉල්ලීමකට අනුව මෙම නඩුව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, මියගිය යුවළ පදිංචිව සිටි නිවස අසලම පදිංචි තවත් විවාහක යුවළකගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වී ඇත. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරුවන් විසින් මළසිරුරු කැබලිවලට කපා අසල පිහිටි ඇළ මාර්ගයේ වළ දමා තිබේ. මීට පෙර අවස්ථාවලදී සිරුරු කොටස් මතු වූ විට ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත නැවතත් වළ දමා ඇති බව ද පොලිසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ සහ තවත් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන තිබේ. සැකකරුවන් විසින් මියගිය කාන්තාවගේ රන් මාලය ද කොල්ලකා ඇති බවත්, තියුණු ආයුධවලින් පහර දී මෙම අපරාධය සිදු කර ඇති බවත් හෙළි වී ඇත. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, සොයාගත් සිරුරු කොටස් පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වන අතර මෙම ඝාතනයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.














