ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබූ OpenAI සමාගමේ ‘Sora’ කෘත්‍රිම බුද්ධි වීඩියෝ නිර්මාණ මෘදුකාංගය (AI video-generation app) වසා දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මීට වසර දෙකකට පමණ පෙර හඳුන්වා දුන් මෙම තාක්ෂණය මගින් ඉතා යථාර්ථවාදී වීඩියෝ දර්ශන නිර්මාණය කිරීමට හැකියාව පැවති අතර, මෙම තීරණයත් සමඟ ප්‍රමුඛ පෙළේ විනෝදාස්වාද සමාගමක් වන ඩිස්නි (Disney) සමඟ පැවති අන්තර්ගත හවුල්කාරිත්වය ද අවසන් වන බව වාර්තා වේ.
OpenAI සමාගම ප්‍රකාශ කරන්නේ රොබෝ තාක්ෂණය (Robotics) වැනි සැබෑ ලෝකයේ භෞතික කාර්යයන් විසඳීමට උපකාරී වන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා ‘Sora’ ව්‍යාපෘතිය නතර කිරීමට තීරණය කළ බවයි. විශේෂයෙන්ම ස්වාධීනව කාර්යයන් සම්පූර්ණ කළ හැකි “agentic” තාක්ෂණය දියුණු කිරීම ඔවුන්ගේ මීළඟ ඉලක්කය වී තිබේ. ඩිස්නි සමාගම පවසා සිටියේ OpenAI සමාගමේ මෙම තීරණයට තමන් ගරු කරන බවත්, බුද්ධිමය දේපළ අයිතීන් සුරකිමින් කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි වෙනත් වේදිකාවන් සමඟ ඉදිරියේදී කටයුතු කරන බවත්ය.
2024 වසරේදී ‘Sora’ හඳුන්වා දීමත් සමඟ හොලිවුඩ් චිත්‍රාගාර මගින් නිෂ්පාදනය කරන මට්ටමේ උසස් වීඩියෝ නිර්මාණය කිරීමට සාමාන්‍ය පරිශීලකයින්ට අවස්ථාව ලැබුණි. ඩිස්නි සමාගම සිය මිිකී මවුස් (Mickey Mouse) සහ ස්ටාර් වෝර්ස් (Star Wars) වැනි චරිත AI වීඩියෝ සඳහා භාවිත කිරීමට OpenAI වෙත අවසර ලබා දී තිබුණේ වසර තුනක ගිවිසුමක් යටතේය. කෙසේ වෙතත්, මෙම තාක්ෂණය හේතුවෙන් නිර්මාණ ක්ෂේත්‍රයේ රැකියා අහිමි වීම සහ බුද්ධිමය දේපළ අවභාවිතය පිළිබඳව පැන නැගුණු බරපතළ විවේචන ද මෙම ව්‍යාපෘතිය නතර කිරීමට එක් හේතුවක් වන්නට ඇති බව විචාරකයෝ පවසති.














