සීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන මිල හමුවේ දැඩි අසීරුතාවට පත්ව සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSME) ආරක්ෂා කරගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පරාටේ නීතිය (බැංකුවලට පැවරී ඇති දේපළ වෙන්දේසි කිරීමේ බලය) අහෝසි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ව්‍යවසායකයන් හමු වූ අවස්ථාවේදී ඔහු අවධාරණය කළේ, රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන මෙම ක්ෂේත්‍රය කඩා වැටුණහොත් සමස්ත නිෂ්පාදන ධාරිතාව සහ ගෘහස්ථ ආර්ථිකය බිඳ වැටෙනු ඇති බවයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ලක්ෂ 45කට අධික පිරිසකගේ ජීවනෝපාය සපයන මෙම ව්‍යාපාරිකයන් 2019 වසරේ සිට එක පිට එක පැමිණි ඛේදවාචක පහක් හමුවේ බැටකා ඇති බවයි. රජය සතුව ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන පවතින බව පවසන්නේ නම්, මෙම ව්‍යවසායකයන් උදෙසා විශේෂ ආර්ථික සහන පැකේජයක් හඳුන්වා දිය යුතු බවත්, ඔවුන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවත් ඔහු යෝජනා කළේය. ඊට අමතරව, එස්. වැට් (SVAT) ක්‍රමවේදය අඩපණ වීම සහ බදු දැල පුළුල් කිරීම නිසා දේශීය කර්මාන්තකරුවන් සහ අපනයනකරුවන් දැඩි පීඩනයකට ලක්ව ඇති අතර, මෙරට ආයෝජන ප්‍රාග්ධනය වෙනත් රටවලට ගලා යාමේ අවදානමක් පවතින බව ද ඔහු අනතුරු ඇඟවීය.














