යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයට (ESO) අයත් “Very Large Telescope” නම් ඉතා විශාල දුරේක්ෂය භාවිත කරමින්, ගැඹුරු අභ්‍යවකාශයේ පිහිටි තරුණ තරුවක් වටා යෝධ වායු ග්‍රහලෝක (Giant gas planets) දෙකක් අලුතින් උපත ලබන ආකාරය සජීවීව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබේ. WISPIT 2 ලෙස නම් කර ඇති මෙම තරුණ තරුව වටා ඇති දූවිලි හා වායු වළාකුළක් තුළ මෙම ග්‍රහලෝක නිර්මාණය වෙමින් පවතින බව අද (2026 මාර්තු 25) ප්‍රකාශයට පත් කෙරුණි.
අයර්ලන්තයේ ගැල්වේ විශ්වවිද්‍යාලයේ (University of Galway) පර්යේෂිකා ක්ලෝයි ලෝලර් (Chloe Lawlor) පවසන පරිදි, මෙම සොයාගැනීම අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අතීතය තේරුම් ගැනීමට ලැබුණු හොඳම අවස්ථාවකි. WISPIT 2b ලෙස නම් කර ඇති පළමු ග්‍රහලෝකය බ්‍රහස්පති මෙන් පස් ගුණයක් විශාල වන අතර, අලුතින්ම තහවුරු කරගත් WISPIT 2c ග්‍රහලෝකය ඊට වඩා තරුවට සමීපව පිහිටා ඇති අතර එය සිය සහෝදර ග්‍රහලෝකයට වඩා දෙගුණයක් බරින් යුක්ත වේ. තරුවක් වටා ග්‍රහලෝක දෙකක් සෘජුවම නිර්මාණය වන අයුරු නිරීක්ෂණය කළ ලොව දෙවන අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
නාසා (NASA) ආයතනය පෙන්වා දෙන පරිදි ග්‍රහලෝක නිර්මාණය වීම “හිම බෝලයක්” (Snowball) සැකසෙන ආකාරයට සිදුවන ක්‍රියාවලියකි. තරුණ තරුවක් වටා ඇති දූවිලි අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකිනෙක ගැටී විශාල පාෂාණ බවට පත්වන අතර, කාලයත් සමඟ ඒවා යෝධ ග්‍රහලෝක බවට වර්ධනය වේ. WISPIT 2 පද්ධතියේ තවත් කුඩා හිඩැසක් නිරීක්ෂණය වී ඇති බැවින්, එහි තෙවන ග්‍රහලෝකයක් ද සැඟවී තිබිය හැකි බවට විද්‍යාඥයෝ සැක පළ කරති. ඉදිරියේදී නිම කිරීමට නියමිත “Extremely Large Telescope” දුරේක්ෂය මගින් එම සැඟවුණු ග්‍රහලෝකය ද ඡායාරූප ගත කිරීමට හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති.















