අමෙරිකා-ඉරාන යුද වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, ඉන්දියාව තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පැතිර යන කටකතා භාරත් පෙට්‍රෝලියම් සංස්ථාව (BPCL) අද (2026 මාර්තු 25) ප්‍රතික්ෂේප කළේය. ඉන්දියාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, සැපයුම් ජාලයන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් එම ආයතනය අවධාරණය කර සිටී.
පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව ඇති වූ යුදමය තත්ත්වය නිසා ලෝකයේ තෙල් සහ ගෑස් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් (1/5) සපයන මුහුදු මාර්ගය අවහිර වී තිබේ. මේ හේතුවෙන් ඉන්දියාව තුළ ද ඉන්ධන කෝටා ක්‍රමවේදයක් හෝ සීමා පැනවීම් සිදුවිය හැකි බවට මහජනතාව තුළ බියක් හටගෙන තිබුණි. විශේෂයෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පාර්ලිමේන්තුවේදී “ඕනෑම තත්ත්වයකට සූදානම් වන්න” (be prepared) යැයි කළ ප්‍රකාශයත් සමඟ මෙම බිය තවදුරටත් තීව්‍ර විය.
කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් සහ හිඟයක් ඇති විය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බවත්, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත් බලධාරීන් ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉරානය විසින් “සතුරු නොවන” නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට අවසර දීමත් සමඟ ඉදිරි දිනවලදී සැපයුම් තත්ත්වය තවදුරටත් යහපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














