ඉරාන-ඇමෙරිකානු යුද්ධය නිමා කිරීම සඳහා ධවල මන්දිරය විසින් ඉදිරිපත් කර ඇති බව කියන 15 වැදෑරුම් සාම සැලසුම පිළිබඳ වාර්තා ඉරාන හමුදාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ඉරාන නිත්‍ය හමුදාව සහ විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මෙහෙයවන ‘ඛාටම් අල්-අන්බියා’ මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි (Ebrahim Zolfaghari) රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම සාම යෝජනා සමච්චලයට ලක් කර ඇත.
“ඔබේ අසාර්ථකත්වය ‘එකඟතාවයක්’ ලෙස හඳුන්වන්න එපා” යැයි පවසමින් ඔහු සඳහන් කළේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ආරම්භ කළ මෙම යුද්ධයෙන් ගැලවීමට ඇමෙරිකාව දරන උත්සාහය පලක් නොවන බවයි. ඇමෙරිකානු පාලන තන්ත්‍රය තුළ පවතින අභ්‍යන්තර ගැටුම් හමුවේ ඔවුන් “තමන් සමඟම සාකච්ඡා කරගනිමින්” මෙවැනි සැලසුම් ඉදිරිපත් කරන බව ද ඔහු චෝදනා කළේය. “අප වැනි අය ඔබ වැනි අය සමඟ කිසිදා එකඟතාවකට පැමිණෙන්නේ නැහැ” යනුවෙන් පවසමින් ඉරානය සිය දැඩි ස්ථාවරය යළිත් අවධාරණය කර තිබේ.
මෙම 15 වැදෑරුම් සැලසුම මගින් කලාපීය ආරක්ෂාව සහ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහන ලබාදීමට ඇමෙරිකාව යෝජනා කර ඇති බව වාර්තා වුවද, ඉරානය පවසන්නේ යුද්ධය නැවැත්වීමට නම් ඇමෙරිකානු හමුදා කලාපයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු බවයි. මෙම තත්ත්වය හමුවේ සාම සාකච්ඡා පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් අවිනිශ්චිත වී ඇති අතර, මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ඇවිළීමේ අවදානමක් මතුව ඇත.















